Search for:

කාලයත් සමග ව්‍යාපාරයේ සිදුවන වෙනස්කම් නිසා වෙළෙඳ නාම බලපත්‍රය සංශෝධනය කරගත යුතු වන්නේ නම් එය සිදු කරන ආකාරය

ව්‍යාපාරය සම්බන්ධ සංශෝධන ආකාර කිපයක් වේ.

            5.1       අයිතිය සංශෝධනය

            5.2       ව්‍යාපාර නාමය සංශෝධනය

            5.3       තනි පුද්ගල ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් ලෙස සංශෝධනය

            5.4       හවුල් ව්‍යාපාරයක් තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස සංශෝධනය

            5.5       ව්‍යාපාරයේ ස්වාභාවය සංශෝධනය

            5.6       හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් සංඛ්‍යාව වැඩි කර ගැනිම

5.1     තනි පුද්ගල ව්‍යාපාර නාම අයිතිය වෙනස් කිරීම. (සංශෝධනය)

5.1.1    ව්‍යාපාර හිමිකරු ජිවතුන් අතර සිටින අවස්ථාවලදී.

ව්‍යාපාර නාමය හිමි පුද්ගලයා දිවුරුම් ප්‍රකාශයක් මඟින් තම කැමැත්ත ප්‍රකාශ කරන අවස්ථාවක, අදාළ ව්‍යාපාරය තමාගේ නමින් සංශෝධනය කිරීමට අළුතින් ඉදිරිපත් වන හිමිකරුගේ කැමැත්ත සහිත ලිපිය.

5.1.2    ව්‍යාපාරයේ හිමිකරු මිය ගිය අවස්ථාවකදි

(I)         හිමිකරු විවාහකයෙකු නම්,

නීත්‍යානුකූල කලත්‍රයා හා වයස අවුරුදු 18ට වැඩි දරුවන් සිටි නම් ඔවුන්ගේ එකඟතාව මත හිමිකාරිත්වය පැවරීය හැකිය. (අදාළ එකඟතාව දිවුරුම් ප්‍රකාශ මඟින්)

වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටිනම්, නීත්‍යානුකූල කලත්‍රයා වෙත හිමිකාරීත්වය පැවරිය හැක. (කලත්‍රයාගේ ලිඛිත ඉල්ලීමක් අනුව)

(II)       හිමිකරු අවිවාහක නම්,

මව, පියා හා වයස අවුරුදු 18ට වැඩි සහෝදර සහෝදරියන්ගේ එකඟතාවය මත (අදාළ එකඟතාවය දිව්රුම් ප්‍රකාශ මඟින් ).

  • ඉහත (I) හා (II) අවස්ථා දෙකෙහිදීම අදාළ ඉල්ලීම අනුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වෙතින් වාර්තාවක් කැඳවා අනතුරුව සංශෝධනය කිරීම සුදුසු වේ.
  • ඉහත 1 හා 2 අවස්ථාවලදී සිදු කරනු ලබන සංශෝධනය අදාල දේපළ සම්බන්ධයෙන් අධිකරණය විසින් ගනු ලබන තින්දුවකට යටත් වන අතර එහිදි ලබා දෙන අධිකරණ තීන්දුව අනුව ව්‍යාපාර හිමිකම වෙනස් විය හැකිය.
  • ඉහත අවස්ථාවන් වලට වඩා වෙනස් අවස්ථාවක් හෝ විරෝධතා හෝ ඉදිරිපත් වන විට සිවිල් අධිකරණයක් මඟින් ලබා දෙන තීන්දුවක් අනුව කටයුතු කළ යුතුය.  

5.2     ව්‍යාපාරයේ වෙළෙද නාමය වෙනස් කිරීම. (සංශෝධනය)

2019-04-09   දින දකුණු පළාත් වෙළෙඳ නාම ප්‍රඥප්තිය ප්‍රකාරව ඔබ විසින් දැනට ලබාගෙන ඇති වෙළෙඳ නාමය මුළුමනින්ම වෙනස් කළ නොහැකිය.  නමුත්  ප්‍රාදේශිය ලේකම්වරයා එකඟවන සුළු වෙනස්කමක් පමණක් සිදු කළ හැකිය

5.3     තනි පුද්ගල ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් ලෙස සංශෝධනය

  • තනි පුද්ගල ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් ලෙස සංශෝධනය කළ හැකිය.  එවිට වර්තමාන හිමිකරු විසින් එයට සම්බන්ධ විමට නියමිත අනිකුත් හවුල්කරුවන් සම්බන්ධ විම සම්බන්ධ කැමැත්ත දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබාදිය යුතුය.
  • සම්බන්ධ වන අනිකුත් පාර්ශවකරුවන් සියළු දෙනා ද වෙන් වෙන් දිවුරුම් ප්‍රකාශ මගින් කැමැත්ත ලබාදිය යුතුය.
  • ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් අංක, ලිපිනයන්, දුරකථන අංක ආදි විස්තර ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ලබාදිය යුතුය.

5.4     හවුල් ව්‍යාපාරයක් තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස සංශෝධනය

  • ව්‍යාපාරයෙන් ඉවත් වන හවුල් කරුවන්ද සියළු දෙනා ද දිවුරුම් ප්‍රකාශ මගින් ව්‍යාපාරයෙන් ඉවත් වන බව දැන්විය යුතුය.
  • ව්‍යාපාරය අයිතිවන පුද්ගලයා හවුල් කරුවන් අතරින් කෙනෙකු විය යුතුය.
  • හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් නොවන කෙනෙකුට ව්‍යාපාරයේ හිමිකාරිත්වය පැවරිය නොහැකිය.

5.5     ව්‍යාපාරයේ ස්වාභාවය සංශෝධනය

ව්‍යාපාරයේ ස්වාභාවය සංශෝධනය කළ හැකිය.   නමුත් දැනට කරගෙන යනු ලබන ව්‍යාපාරයේ ස්වාභාවයට හාත්පසින්ම වෙනස් හො නොගැලපෙන  ස්වාභාවයක් ඇතුළත් කළ නොහැකිය.  උදාහරණයක් ලෙස කිසියම් ව්‍යාපාරයක්  ආහාර ද්‍රව්‍ය අලෙවිය ස්වාභාවය ලෙස දක්වා ඇත්නම් එය ආහාර ද්‍රව්‍ය හා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිය ලෙස වෙනස් කළ නොහැකිය. 

5.6     හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් සංඛ්‍යාව වැඩි කර ගැනිම

  • හවුල් ව්‍යාපාරය සදහා හවුල්කරුවන් සංඛ්‍යාව වැඩිකර ගත හැකි අතර ව්‍යාපාරයට සිටිය හැකි උපරිම හවුල් කරුවන් ගණන 14 කි.  එසේ වැඩි කරන සියළු හවුල්කරුවන් සියළු දෙනා ද වෙන් වෙන් දිවුරුම් ප්‍රකාශ මගින් කැමැත්ත ලබාදිය යුතුය.
  • ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් අංක, ලිපිනයන්, දුරකථන අංක ආදි විස්තර ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ලබාදිය යුතුය.

5.7     සංශෝධනය සදහා අය කරනු ලබන ගාස්තු

            (I)        රු.250,000.00 හෝ  ඊට වැඩි  ව්‍යාපාර සඳහා    රු. 1000.00

           (II)       රු.250,000.00 අඩු ව්‍යාපාර සඳහා                     රු.   750.00

වෙළෙඳ නාම සහතිකය අවලංගු කර ගැනිම .

කුමන හෝ කරුණක් නිසා ඔබ ව්‍යාපාරික කටයුත්ත ස්ථිරවම නතර කරයි නම් ව්‍යාපාරික කටයුතු නතර කොට මාස 03 ක් ගතවීමට පෙර අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ඒ බව ලිඛිතව දන්වා අදාළ වෙළෙඳ නාම සහතිකය  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට භාරදිය යුතුය.

වෙළෙඳ නාම සහතිකයේ පිටපතක් ලබා ගැනිම.

බලපත්‍රය නැතිවී ඇති අවස්ථාවක

  1. ව්‍යාපාරයේ අයිතිය තහවුරු කර ගත හැකි වෙනයම් ලේඛනයක් ( බලපත්‍රය සදහා මුදල් ගෙවන ලද කුවිතාන්සියක් හෝ ව්‍යාපාරය වෙනුවෙන් වෙනයම් රාජ්‍ය ආයතනයකින් අවසරය/ නිර්දේශ ලබාගත් ලේඛනයක් ඉදිරිපත් කළ යුතුය
  2. එසේත් නොමැති නම් ව්‍යාපාරය කරගෙන යනු ලබන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් අදාළ ව්‍යාපාරයේ ලියාපදිංචිය පිළිබදව ලේඛන පරික්ෂා කරගත යුතුය. මේ සදහා ලේඛන පරික්ෂා කිරිමේ ගාස්තුවක් අයකෙරේ.

එම කරුණු මගින් ඔබගේ හා ව්‍යාපාරයේ අනන්‍යතාවය තහවුරු කරගත් පසු නියමිත ගාස්තු ගෙවා වෙළෙඳ නාම සහතිකයේ පිටපතක් ලබාගත හැකිය.

බලපත්‍රය  හෝ එහි ජායා පිටපතක් ඇති අවස්ථාවක

  1. ඔබගේ හා ව්‍යාපාරයේ අනන්‍යතාවය තහවුරු කරගත් පසු නියමිත ගාස්තු ගෙවා වෙළෙඳ නාම සහතිකයේ පිටපතක් ලබාගත හැකිය.

                  ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉල්ලුම්පත් ගාස්තු.

                        (I) .රු.250,000.00 හෝ  ඊට වැඩි ව්‍යාපාර සඳහා           රු. 500.00

                        (II).රු.250,000.00 අඩු ව්‍යාපාර සඳහා                          රු. 250.00

                  ලියාපදිංචි කිරීමේ සහතික පිටපතක් ලබා ගැනීම සඳහා ගාස්තු.

                        (I). රු.250,000.00 හෝ ඊට වැඩි ව්‍යාපාර සඳහා            රු. 1000.00

                        (II).රු.250,000.00 අඩු ව්‍යාපාර සඳහා                          රු.   750.00